ආයතනික රැකවරණය හෝ භාරකාරත්වය යටතේ සිටින දරුවන් මෙන්ම වීදි දරුවන් (Street Children) වෙනුවෙන් රුපියල් 5,000ක මාසික ජීවන වියදම් දීමනාවක් ලබා දීම සඳහා නිර්මාණය වූ ‘අර්ථ’ වැඩසටහන තවදුරටත් පුළුල් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. මේ සඳහා වන මූලික අනුමැතිය මීට පෙර (2025-06-16 දින) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබා දී තිබුණි.
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කරන ලද නව යෝජනාවකට අනුව, දැනට ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින දරුවන්ට අමතරව තවත් විශේෂ අවදානම් කාණ්ඩ දෙකකට අයත් වන දරුවන් ද මෙම මාසික දීමනාව සඳහා සුදුසුකම් ලබන බව රජය නිවේදනය කරයි.
ඒ අනුව ‘දිට්වා’ සුළි කුණාටුව සහ ඉන් පසුව ඇති වූ ව්‍යසනකාරී ගංවතුර සහ නායයෑම් තත්ත්වයන් හේතුවෙන් සිය මව සහ පියා යන දෙදෙනාම අහිමි වූ හෝ දෙමව්පියන්ගෙන් එක් අයෙකු හෝ අහිමි වූ දරුවන් පළමු කාණ්ඩය යටතේ මේ සඳහා සුදුසුකම් ලබයි. මීට අමතරව ආර්ථිකමය හා සමාජීය දරිද්‍රතාවය, බිඳුණු පවුල් පසුබිම් සහ වෙනත් සමාජයීය හේතූන් මත ජීවත් වීමට සුදුසු ආරක්ෂිත පරිසරයක් නොමැති වීම නිසා අනාරක්ෂිත තත්ත්වයට හා අවදානමට ලක්ව ඇති බවට පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් හඳුනා ගන්නා දරුවන් ද මෙම රුපියල් 5,000ක මාසික දීමනාව සඳහා සුදුසුකම් ලබන බව අදාළ තීරණයේ දැක්වේ.














