කුලියාපිටිය නගරය කේන්ද්‍ර කර ගනිමින් දිවයින පුරා පවත්වාගෙන ගිය බව කියන නීතිවිරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමක අධ්‍යක්ෂවරුන් පස්දෙනා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (31) නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සිසිර සම්පත් කුමාර, සුභාෂිනි සිරිවර්ධන, ලහිරු බණ්ඩාර, චන්දන ප්‍රදීප් කුමාර සහ එන්. සාගරිකා යන සැකකරුවන් මෙලෙස ඇප මත මුදාහැර තිබේ. මෙහිදී එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද පියවර ගත්තේය. අදාළ නීතිවිරෝධී සමාගම තවදුරටත් ක්‍රියාත්මක නොවන බවටත් සැකකරුවන් ඉදිරි විමර්ශන සඳහා පූර්ණ සහයෝගය දක්වන බවටත් අධිකරණය හමුවේ එකඟතාව පළ කිරීම මත මෙම ඇප නියෝගය නිකුත් විය.
අධිකරණය හමුවේ කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් ඔස්සේ විශාල මූල්‍ය ප්‍රතිලාභ අත්කර දෙන බව පවසා මොවුන් මෙම පිරමීඩ ආයතනය පවත්වාගෙන ගොස් ඇති බවයි. මෙම ආයතනයේ කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනටමත් තහනම් කර ඇති බවත්, මින් අගතියට පත් තැන්පත්කරුවන් 18 දෙනෙකුගෙන් මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් ඔවුහු පැවසූහ. සැකකරුවන්ගේ බැංකු ගිණුම් පිළිබඳව තවදුරටත් පුළුල් විමර්ශනයක් කළ යුතු බැවින් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොලීසිය ඉල්ලා සිටියද, සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ මෙය පරිගණක මෘදුකාංගයක් මඟින් භාණ්ඩ අලෙවි කිරීමේ සරල ව්‍යාපෘතියක් පමණක් වන බවයි.
දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ දේපළ සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. එසේම මෙම නඩුවේ විමර්ශන ප්‍රගතිය ලබන ජුනි මස 25 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියම කෙරිණි.














