ඉන්දියාවේ දෛනිකව සිදුවන සුළු වැරදි රැසක් අපරාධ ගණයෙන් ඉවත් කර සිවිල් දඬුවම් හෝ අනතුරු ඇඟවීම් මට්ටමට පත් කිරීම සඳහා වන ‘Jan Vishwas’ (ජන් විශ්වාස්) සංශෝධිත පනත් කෙටුම්පත 2026 වසරේදී ලෝක් සභාවට ඉදිරිපත් කර තිබේ. මධ්‍යම රජයේ නීති 80ක් යටතේ එන සුළු උල්ලංඝනයන් 717ක් පමණ මෙලෙස අපරාධ ගණයෙන් ඉවත් කිරීමට යෝජිතය.
මෙතෙක් පැවති පැරණි නීති අනුව පොදු ස්ථානවල මලමූත්‍ර පිට කිරීම, මෙට්‍රෝ දුම්රිය තුළ දුම්පානය කිරීම හෝ සතෙකු අසල්වැසියෙකුගේ වත්තකට ඇතුළු වී හානි කිරීම වැනි සිදුවීම් සඳහා පොලිස් අත්අඩංගුවට පත්වීමට හෝ අධිකරණය හමුවේ පෙනී සිටීමට සිදු විය. මෙම නව පනත මඟින් එවැනි වැරදි සඳහා සිරදඬුවම් වෙනුවට සිවිල් දඩ මුදල් (Civil penalties) හෝ පරිපාලනමය ක්‍රියාමාර්ග පමණක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇත.
වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය විසින් හඳුන්වා දුන් මෙම පනතේ අරමුණ වන්නේ සුළු වැරදි සඳහා අධිකරණ පද්ධතිය මත පැටවෙන අනවශ්‍ය බර අඩු කිරීමයි. 1871 වැනි ඈත අතීතයේ සිට පැවත එන රුපියල් 10ක් වැනි ඉතා සුළු දඩ මුදල් සහිත යල් පැන ගිය නීති රැසක් ද වර්තමානයට ගැලපෙන පරිදි මෙහිදී සංශෝධනය කෙරේ. දෛනික ජීවිතයේදී සිදුවන මෙවැනි පොදු වැරදි සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී වඩාත් මෘදු සහ ප්‍රායෝගික ප්‍රවේශයක් අනුගමනය කිරීම රජයේ අපේක්ෂාවයි.














