රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කර සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් මේ වන විට ඉතා විධිමත් වාර්ෂික ස්ථානමාරු ක්‍රියාවලියක් සකස් කර සාර්ථකව ක්‍රියාත්මක කරමින් පවතින බවයි. කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එළඹෙන මැයි මස 10 වනදා වන විට වෛද්‍යවරුන් 6,000ක පමණ පිරිසක් ස්ථානමාරු ලැබීමට නියමිතව ඇති බවත්, මෙම පෙබරවාරි මුල් සතියේ සිට ආරම්භ කරන ලද මෙම විධිමත් ක්‍රියාවලිය පසුගිය වසර 13ක කාලය පුරාම මෙරට ක්‍රියාත්මක වී නොමැති බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මීට පෙර පැවති ක්‍රමවේදයන් තුළ අදාළ වෘත්තීය සමිතියේ බලපෑම් මත ඇතැම් සාමාජිකයන් වසර 13 සිට 17 දක්වා වූ දීර්ඝ කාලසීමාවන් එකම ස්ථානයක රැඳී සිටි බවත්, ජාතික රෝහලට යාමට නොහැකිව අක්ෂි රෝහලටම සීමා වී සිටි බවත් හෙළි කළ අමාත්‍යවරයා, මෙම නව ක්‍රමවේදය මඟින් අසාධාරණයට ලක්ව සිටි බහුතරයක් වෛද්‍යවරුන්ට සාධාරණය ඉටු වන බැවින් ඔවුන් මෙම වැඩපිළිවෙළට කැමැත්ත පළ කර ඇති බව ද කියා සිටියේය. මෙයට අකමැති වන්නේ තමන් සතු වෘත්තීය සමිති බලය අයුතු ලෙස භාවිත කරමින් තමන්ගේ විධායක සභිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් කැමති ස්ථානවල වසර ගණනාවක් රඳවා තබා ගැනීමට කටයුතු කළ සුළු පිරිසක් පමණක් බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
දුෂ්කර සේවා ලැයිස්තු සැකසීම පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, 2018 වසර දක්වා යුද සමයේ අවශ්‍යතාවන් මත සකස් කළ පැරණි උතුරු නැගෙනහිර ලැයිස්තුවක් ක්‍රියාත්මක වූ බවත්, 2020 වසරේ සිට ප්‍රධාන නිර්ණායක 7ක් යටතේ දුෂ්කර ලැයිස්තු සකස් කළ යුතු වුවද වෘත්තීය සමිති බලපෑම් මත එහි විවිධ අකටයුතුකම් සිදු වී තිබූ බවත් ප්‍රකාශ කළේය. මෙවර සෞඛ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සහ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සමඟ එක්ව අදාළ විද්‍යාත්මක නිර්ණායක 7ම පදනම් කරගනිමින් නිශ්චිත ආයතන 265ක දුෂ්කර ලැයිස්තුවක් සකස් කර ප්‍රකාශයට පත් කළ බවත්, පරිපාලනමය තීරණයක් වන මෙවැනි ලැයිස්තු සැකසීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යයක් මිස ඒ සඳහා වෘත්තීය සමිති සම්බන්ධ කරගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවත් අමාත්‍යවරයා තරයේ කියා සිටියේය.














