ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ මුහුදු තීරයේදී බහුදින ධීවර යාත්‍රාවක සඟවා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 261ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 115ක් ප්‍රවාහනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වසන්ත පුෂ්පකුමාර ඇතුළු සැකකරුවන් හත් දෙනෙකු ලබන අප්‍රේල් මස 06 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (31) නියෝග කළේය.
සිද්ධියට අදාළව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද වැඩිදුර විමර්ශන වාර්තාවක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී. එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය මේ වන විට රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති බවයි. එසේම අදාළ ධීවර යාත්‍රාවේ තිබී සොයාගත් ජී.පී.එස් (GPS) යන්ත්‍රය මිනින්දෝරු දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඒ පිළිබඳව ද වෙනම වාර්තාවක් කැඳවීමට අධිකරණය නියම කළේය.
මෙම සිද්ධියට අදාළව තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන වර්ණකුලසූරිය නොයෙල් රංජිත් ප්‍රනාන්දු, දුලාන් සජිත් අසලංක, නුවන් පුෂ්ප කුමාර, නිමල් ප්‍රනාන්දු, මිල්බන් ද සිල්වා, දිනුෂ රුවන් කුමාර සහ වසන්ත පුෂ්ප කුමාර යන සැකකරුවන් හත් දෙනා මෙලෙස යළි බන්ධනාගාරගත කෙරුණි. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගියදා දකුණු මුහුදේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම යාත්‍රාව සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන පසුව ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබුණි. එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියේ සැකකරුවන්ට අදාළ පුළුල් විමර්ශන තවමත් අවසන් වී නොමැති බැවින් ඔවුන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.














