අමෙරිකා-ඉරාන යුද්ධය හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වැසී යාමෙන් ඉන්ධන අර්බුදයකට මුහුණ දී සිටින, නමුත් යුද්ධයට සහය නොදක්වන රටවල් වෙත අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (31) සිය ‘Truth Social’ ගිණුම හරහා දැඩි විවේචනාත්මක ප්‍රකාශයක් නිකුත් කර තිබේ. එක්සත් රාජධානිය වැනි රටවල් යුද්ධයට මැදිහත් වීම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව ඔහු එහිදී සිය අප්‍රසාදය පළ කළේය.
ලෝක බලශක්ති අවශ්‍යතාවයෙන් 20%ක් සපයන මෙම මුහුදු මාර්ගය අවහිර වීම නිසා ගුවන් යානා ඉන්ධන (Jet fuel) ලබා ගැනීමට නොහැකිව සිටින රටවලට ට්‍රම්ප් යෝජනා දෙකක් ඉදිරිපත් කර ඇත. පළමුවැන්න, අමෙරිකාව සතුව ඕනෑ තරම් ඉන්ධන ඇති බැවින් ඒවා මිලදී ගන්නා ලෙසත්, දෙවැන්න, “ප්‍රමාද වී හෝ ධෛර්යය උපදවාගෙන” හෝමුස් සමුද්‍ර සන්ධියට ගොස් තමන්ට අවශ්‍ය තෙල් ලබා ගන්නා ලෙසත් ඔහු පවසා තිබේ.
“ඔබ අප වෙනුවෙන් පෙනී නොසිටියාක් මෙන්ම, මින් ඉදිරියට අමෙරිකාව ද ඔබට උදවු කිරීමට නොසිටිනු ඇත. දැන් ඔබ වෙනුවෙන් සටන් කිරීමට ඉගෙන ගත යුතුයි. ඉරානය මේ වන විට බොහෝ දුරට අඩපණ කර අවසානයි, දැන් ගොස් ඔබේ තෙල් ලබා ගන්න,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ මෙම යුද ගැටුම් හේතුවෙන් ගෝලීය ඉන්ධන සැපයුමට එල්ල වී ඇති බාධා හමුවේ, අමෙරිකාවේ සහය අපේක්ෂා කරන රටවල් වෙත ට්‍රම්ප් මෙලෙස සෘජු බලපෑමක් එල්ල කර ඇත.














