හංගේරියානු විදේශ අමාත්‍ය පීටර් සිජ්ජාර්ටෝ (Péter Szijjártó) සහ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් (Sergey Lavrov) අතර සිදුවූ බව කියන තත්පර 94ක රහසිගත දුරකථන සංවාදයක් අද (31) ගවේෂණාත්මක මාධ්‍යවේදීන් කණ්ඩායමක් විසින් ප්‍රසිද්ධ කර තිබේ. මෙම පටිගත කිරීම මඟින් රුසියානු ප්‍රකෝටිපතියෙකුගේ සහෝදරියකට පනවා ඇති යුරෝපා සංගම් සම්බාධක ඉවත් කිරීමට හංගේරියාව මැදිහත් වන ආකාරය අනාවරණය වේ.
රුසියානු ප්‍රකෝටිපති අලිෂර් උස්මානොව්ගේ (Alisher Usmanov) සහෝදරිය වන ගුල්බහොර් ඉස්මයිලෝවා (Gulbahor Ismailova) යුරෝපා සංගමයේ සම්බාධක ලැයිස්තුවෙන් ඉවත් කිරීමට උදවු කරන ලෙස ලැව්රොව් මෙහිදී ඉල්ලා සිටී. ඊට ප්‍රතිචාර දක්වමින් හංගේරියානු අමාත්‍යවරයා පවසා ඇත්තේ ස්ලෝවැකියාව සමඟ එක්ව ඇයව එම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට යුරෝපා සංගමයට යෝජනාවක් ඉදිරිපත් කරන බවයි.
බ්‍රසල්ස්හි පැවැත්වෙන විදේශ කටයුතු කවුන්සිල රැස්වීම්වලදී සිදුවන ඉතා සංවේදී තොරතුරු හංගේරියානු අමාත්‍යවරයා රුසියාව සමඟ බෙදාගන්නා බවට ‘වොෂින්ටන් පෝස්ට්’ (Washington Post) පුවත්පත මීට පෙර වාර්තා කර තිබුණි. මෙම නව හඬපටය නිකුත් වීමත් සමඟ හංගේරියාව සහ රුසියාව අතර පවතින සමීප සබඳතාවය පිළිබඳව යුරෝපා සංගමය තුළ දැඩි කතාබහක් සහ මතභේදයක් නිර්මාණය වී ඇත.














