හෝමාගම, දොළහේන ආරච්චිගොඩ ප්‍රදේශයේ රුපියල් ලක්ෂයක මාසික කුලියට ලබාගත් ඉඩමක ඉතා සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය මහා පරිමාණ කැට සූදු පොළක් වැටලීමට හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබේ. එහිදී අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයින් 23 දෙනෙකුට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් සුවිශේෂී දඬුවමක් නියම කර ඇත.
අත්අඩංගුවට පත් වූ සැකකරුවන්ට දඩ මුදල් නියම කළ මහේස්ත්‍රාත්වරයා, ඔවුන් සියලු දෙනාට පැය 50 බැගින් හෝමාගම නගර මධ්‍යයේ ප්‍රසිද්ධියේ ප්‍රජා සේවයේ යෙදෙන ලෙස ඊයේ (31) නියෝග කළේය. අත්අඩංගුවට පත් වූවන් අතර ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවන්, වාහන හා ඉඩම් සේල් හිමියන් සහ පොලියට මුදල් ලබාදෙන්නන් වැනි වයස අවුරුදු 25ත් 55ත් අතර පසුවන කෝටිපති ව්‍යාපාරිකයින් සිටින බව පොලිසිය සඳහන් කරයි.
හෝමාගම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන ලියනගේ මහතාට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ මෙම වැටලීමේදී, සූදු කෙළීමට යොදාගත් රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක් සහ උපකරණ පොලිස් භාරයට ගෙන ඇත. ආරක්ෂිත මඩුවක් තනා, ප්‍රවේශ මාර්ගවල ඔත්තුකරුවන් පවා රඳවා ඉතා සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය මෙම ජාවාරම මැඩපැවැත්වීම සඳහා කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් එක්ව සිටියහ.














