රුසියානු රජයේ නියෝජ්‍ය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය අන්ද්‍රේ රුඩෙන්කෝ (Andrey Rudenko) මහතා පස් දින නිල සංචාරයක් සඳහා අද (31) පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. රුසියානු විදේශ අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් ද මෙම දූත පිරිසට ඇතුළත් වෙති.
අමාත්‍යවරයා ඇතුළු පිරිස අද සවස 4.20 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් සේවයට අයත් AI-281 දරන ගුවන් යානයෙන් දිවයිනට පැමිණි අතර, ඔවුන් පිළිගැනීම සඳහා වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු ජනිත රුවන් කොඩිතුවක්කු සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගාරෙයාන් (Levan Dzhagaryan) මහත්වරුන් ඇතුළු පිරිසක් ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.
මෙම දින පහක සංචාරය තුළදී රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ කලාපීය සහයෝගීතාව පිළිබඳ කරුණු මෙහිදී සාකච්ඡාවට බඳුන් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














