ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 මාර්තු මාසය සඳහා වන කොළඹ පාරිභෝගික මිල දර්ශකය අද (31) ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය පසුගිය පෙබරවාරි මාසයේ පැවති 1.6%ක අගයේ සිට මාර්තු මාසය වන විට 2.2%ක් දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.
2026 මාර්තු මාසයේදී ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 0.7%ක් ලෙස වාර්තා වී ඇති අතර, එය පෙබරවාරි මාසයේදී පැවතියේ 0.2%ක් වැනි ඉතා අඩු මට්ටමකයි. ආහාර නොවන කාණ්ඩය සඳහා ද මෙම ඉහළ යාම අදාළ වන අතර, පෙබරවාරි මාසයේ 2.3%ක් ලෙස වාර්තා වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය මාර්තු මාසයේදී 2.9%ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙලෙස ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම මිල ගණන් ඉහළ යාම සමස්ත පාරිභෝගික උද්ධමනය ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා තිබේ. උත්සව සමය ආසන්න වීමත් සමඟ වෙළඳපොළ මිල ගණන්වල සිදුවන මෙම වෙනස්වීම් පිළිබඳව ආර්ථික විශ්ලේෂකයන්ගේ අවධානය යොමුව ඇත.














