ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය සහ නාමය ව්‍යාජ ලෙස භාවිත කරමින්, ජංගම දුරකථන කෙටි පණිවුඩ (SMS) හරහා සිදුකරන මහා පරිමාණ මූල්‍ය වංචාවක් පිළිබඳව එම දෙපාර්තමේන්තුව අද (31) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මහජනතාව දැනුවත් කර තිබේ. මෙය පාරිභෝගිකයන්ගේ බැංකු කාඩ්පත් තොරතුරු සොරාගන්නා ‘Phishing Scam’ වර්ගයේ වංචාවකි.
තැපෑලෙන් ලැබීමට ඇති පාර්සලයක් ලබාගැනීම සඳහා සුළු මුදලක් ගෙවිය යුතු බව පවසමින් ව්‍යාජ සබැඳියක් (Link) සහිත SMS පණිවුඩයක් පාරිභෝගිකයන් වෙත එවනු ලැබේ. එම සබැඳිය හරහා පිවිසෙන ව්‍යාජ වෙබ් අඩවියේ ඔබගේ බැංකු කාඩ්පත් තොරතුරු (Debit/Credit Card Details) ඇතුළත් කළ සැණින්, වංචාකරුවන් විසින් ඔබගේ බැංකු ගිණුමේ ඇති මුදල් සොරාගැනීම සිදුකරනු ලබයි.
මේ දිනවල මෙම වංචනික ක්‍රියාවලිය ඉතා බහුලව සිදුවන බව නිරීක්ෂණය වී ඇති අතර, මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ඇතුළු අදාළ අංශ දැනුවත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. එබැවින්, නොහඳුනන සබැඳි (Links) මත ක්ලික් කිරීමෙන් වළකින ලෙසත්, කිසිදු අවස්ථාවක ඔබගේ බැංකු කාඩ්පත් තොරතුරු හෝ OTP අංක තෙවන පාර්ශවීය වෙබ් අඩවි වෙත ලබා නොදෙන ලෙසත් මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.














