අමෙරිකාව සහ ඉරානය අතර පවතින දරුණු යුදමය වාතාවරණය හමුවේ, අමෙරිකානු මෙහෙයුම් සඳහා සහාය දැක්වීම ප්‍රතික්ෂේප කර ඇති බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් ඉලක්ක කරගනිමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (31) සිය ‘Truth Social’ ගිණුම හරහා දැඩි දෝෂාරෝපණයක් එල්ල කර තිබේ. හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) අවහිර වීමෙන් බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටින රටවලට ඔහු උපහාසාත්මක ලෙස අවවාද කළේය.
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්ධන ලබාගැනීමට නොහැකිව සිටින රටවල් සඳහා ට්‍රම්ප් යෝජනා දෙකක් ඉදිරිපත් කර ඇත. පළමුවැන්න, අමෙරිකාව සතුව පවතින අතිරික්ත ඉන්ධන මිලදී ගන්නා ලෙසත්, දෙවැන්න, “ප්‍රමාද වී හෝ ධෛර්යය උපදවාගෙන” හෝමුස් සමුද්‍ර සන්ධියට ගොස් තමන්ට අවශ්‍ය දේ බලහත්කාරයෙන් ලබාගන්නා ලෙසත් ඔහු පවසා තිබේ. “අමෙරිකාව තවදුරටත් ඔබ වෙනුවෙන් පෙනී නොසිටිනු ඇත, ඔබම සටන් කිරීමට ඉගෙන ගත යුතුයි,” යනුවෙන් ඔහු එහිදී අවධාරණය කළේය.
මෙහිදී ප්‍රංශය වෙත විශේෂයෙන් චෝදනා එල්ල කළ ට්‍රම්ප්, අමෙරිකානු සැපයුම් ගුවන් යානාවලට ප්‍රංශ ගුවන් සීමාව භාවිත කිරීමට අවසර නොදීම දැඩි ලෙස විවේචනය කළේය. පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ මෙම යුද ගැටුම් හමුවේ මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කරන යුරෝපීය රටවල් සහ ඔවුන්ගේ නායකයන් පිළිබඳව ට්‍රම්ප් සිය දැඩි අප්‍රසාදය මෙලෙස ප්‍රකාශ කර තිබේ.














