නාසි මරණ කඳවුරුවල (Auschwitz-Birkenau) භීෂණයෙන් දිවි ගලවා ගත් 101 හැවිරිදි ජිනෙට් කොලින්කා (Ginette Kolinka), අද (31) වන විට ප්‍රංශය තුළ යුදෙව් විරෝධයට සහ වෛරී ප්‍රකාශවලට එරෙහිව ප්‍රබල හඬක් බවට පත්ව සිටියි. දශක ගණනාවක් පුරා තම අතීත අත්දැකීම් රහසක්ව තබා ගත් ඇය, දැන් හොලොකෝස්ටයේ (Holocaust) පාඩම් අනාගත පරපුරට දායාද කිරීම තම ජීවිතයේ අරමුණ කරගෙන තිබේ.
තම අතීතය පිළිබඳව ප්‍රශ්න කරන අයට මීට පෙර ඇය ලබා දුන්නේ ඉතාමත් වේදනාකාරී පිළිතුරකි. “මට දරුවෙකු සිටියා නම්, මා අත්විඳි ඒ බිහිසුණු අත්දැකීම්වලට ඔහු මුහුණ දෙනවාට වඩා මගේ අතින්ම ඔහු ගෙල මිරිකා මරා දැමීමට මම කැමති වෙමි” යන්න ඇගේ එදා පිළිතුර විය. එම වචන තුළින් ඇය විඳි අප්‍රමාණ දුක් ගැහැට මොනවාදැයි ලොවට පැහැදිලි විය.
ප්‍රකට සිනමාකරු ස්ටීවන් ස්පිල්බර්ග්ගේ (Steven Spielberg) මැදිහත්වීමෙන් ආරම්භ කළ ව්‍යාපෘතියක සහය ඇතිව, නාසීන් සහ ඔවුන්ගේ හිතවතුන් විසින් යුරෝපීය යුදෙව්වන් මිලියන 6ක් සමූලඝාතනය කිරීමේ සත්‍ය තොරතුරු ඇය දැන් ලොව හමුවේ අනාවරණය කරයි. ඇගේ සිනහමුසු මුහුණ සහ නොසැලෙන ධෛර්යය හමුවේ වෛරය පරාජය කර මානුෂීයත්වය ජයග්‍රහණය කරවීමේ පණිවිඩය ලොව පුරා ප්‍රසිද්ධියට පත්වෙමින් පවතී.














