ශ්‍රී ලංකාව තුළ සංවිධානාත්මක අපරාධ ඉහළ යාමේ ප්‍රවණතාව සැළකිල්ලට ගනිමින්, ඒවා වැළැක්වීම සහ පුරවැසියන් ආරක්ෂා කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය අද (31) හිමිවිය. දැනට පවතින සාමාන්‍ය නීති රෙගුලාසි සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීමට ප්‍රමාණවත් නොවන බව රජය හඳුනාගෙන තිබේ.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් පත් කරන ලද විශේෂඥ කමිටුවක් මඟින් මේ වන විටත් මූලික කෙටුම්පතක් සකස් කර ඇත. එම කෙටුම්පත පදනම් කර ගනිමින් නව පනත සම්පාදනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීමට අධිකරණ අමාත්‍යවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට මෙලෙස අනුමැතිය ලැබී තිබේ.
මෙම නව පනත මඟින් සංවිධානාත්මක අපරාධ කල්ලිවල ක්‍රියාකාරකම් සෘජුව ඉලක්ක කරමින් දැඩි දඬුවම් පැමිණවීමට සහ විමර්ශන කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමට අවශ්‍ය නෛතික රාමුව සකස් කරනු ඇත. විශේෂයෙන්ම පාතාල ක්‍රියාකාරකම් සහ ජාත්‍යන්තර මට්ටමින් සිදුවන සංවිධානාත්මක අපරාධ මැඩලීම මෙහි ප්‍රධාන අරමුණයි.














