ලොව වැඩිම ජනගහනයක් වෙසෙන රාජ්‍යය වන ඉන්දියාවේ සෑම පුද්ගලයෙකුම ගණනය කිරීමේ දැවැන්ත කාර්යය හෙට (අප්‍රේල් 01) සිට ආරම්භ කිරීමට එරට රජය සියලු කටයුතු සූදානම් කර තිබේ. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් 2021 වසරේ සිට ප්‍රමාද වූ මෙම දස වාර්ෂික ජන සංගණනය සඳහා නිලධාරීන් මිලියන 3කට අධික පිරිසක් වසරක කාලයක් පුරා මෙහෙයුම් දියත් කිරීමට නියමිතය.
මෙවර සංගණනය අදියර තුනක් යටතේ ක්‍රියාත්මක වේ. පළමු අදියර ලෙස හෙට සිට අන්තර්ජාලය හරහා ස්වයංව ලියාපදිංචි වීමට අවස්ථාව ලබාදෙන අතර, දෙවන අදියරේදී නිලධාරීන් නිවසින් නිවසට ගොස් තොරතුරු රැස් කරනු ඇත. තෙවන අදියරේදී පුද්ගලයන්ගේ ආර්ථික, සමාජීය සහ කුලය පිළිබඳ දත්ත රැස් කිරීමට නියමිතය. ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙම සියලු දත්ත ඩිජිටල් ක්‍රමවේද ඔස්සේ වාර්තා කරන බැවින් ප්‍රතිඵල ඉතා ඉක්මනින් නිකුත් කිරීමට හැකි වනු ඇති බව සංගණන කොමසාරිස් මෘතුංජය කුමාර් නාරායන් මහතා පවසයි.
බිලියන 1.4කට අධික ජනගහනයක් සහිත ඉන්දියාවේ මෙම දත්ත රැස් කිරීමේ ක්‍රියාවලිය 2027 මාර්තු මාසයේදී අවසන් වීමට නියමිතය. විශේෂයෙන්ම මෙවර කුලය පිළිබඳ තොරතුරු රැස් කිරීම සුවිශේෂී කරුණක් වන අතර, එය ඉන්දියාවේ දේශපාලන සහ රාජ්‍ය සේවා රැකියා කෝටා තීරණය කිරීම සඳහා අතිශය තීරණාත්මක වනු ඇත. ලොව අනෙකුත් ප්‍රමුඛ ආර්ථිකයන් වයස්ගත ජනගහනයක් හමුවේ පීඩා විඳිද්දී, ඉන්දියාවේ පවතින තරුණ ශ්‍රම බලකාය රටේ අනාගත දියුණුවට මහඟු අවස්ථාවක් වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














