ලොව සුප්‍රකට ‘National Geographic’ සඟරාවේ සහ එම ආයතනයේ ගවේෂකයින්ගේ මෙහෙවර අත්දැකීමට හැකි නවීකරණය කරන ලද “ගවේෂණ කෞතුකාගාරය” (Museum of Exploration) එළඹෙන ජූනි 26 වනදා වොෂින්ටන් නුවරදී විවෘත කිරීමට නියමිතය. වසර 130ක ඉතිහාසයක් ඇති National Geographic ආයතනය, නවීන තාක්ෂණය භාවිත කරමින් මෙම කෞතුකාගාරය සම්පූර්ණයෙන්ම අලුත් කර තිබේ.
ළමා වියේදී ලෝකය දෙස බලන කුතුහලය වැඩිහිටියන් තුළ ද යළි ඇති කිරීම මෙහි ප්‍රධාන අරමුණකි. කෞතුකාගාරය තුළ ඇති ප්‍රදර්ශන කුටි සහ ගැලරි හරහා National Geographic ගවේෂකයින් ලෝකය ගවේෂණය කිරීමට සහ ආරක්ෂා කිරීමට භාවිතා කරන උපකරණ, ඔවුන්ගේ අසිරිමත් ගමන් මග සහ එම ගවේෂණ පිටුපස ඇති සැබෑ කතාව අත්දැකීමට අමුත්තන්ට අවස්ථාව ලැබේ.
National Geographic Society හි ප්‍රධාන විධායක නිලධාරිනි ජිල් ටීෆෙන්තලර් පවසන්නේ, මෙම කෞතුකාගාරය මගින් අතීත කතාවල උරුමය සහ අනාගත පරපුර දිරිමත් කරන නවීන තාක්ෂණය එකට හමුවන බවයි. ලෝකය පිළිබඳ දැනුම බෙදාදීම සහ පෘථිවියේ අසිරිය ආරක්ෂා කිරීම උදෙසා කෙරෙන මෙම මෙහෙවරේ සෑම අඟලක්ම අමුත්තන්ව ගවේෂණ චාරිකාවක ගිල්වා තැබීමට සමත් වන පරිදි නිර්මාණය කර තිබේ.














