ඩුබායි රාජ්‍යය වෙත එල්ල වූ මිසයිල ප්‍රහාර මැඩපැවැත්වීමේදී අහසින් ඇද වැටුණු සුන්බුන් හේතුවෙන් ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව අද (31) වාර්තා වේ. දකුණු ඩුබායි හි නේවාසික ප්‍රදේශයකට මෙම සුන්බුන් පතිත වීමෙන් දේපොළ හානි ද සිදුවී තිබේ.
තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකිකයෙකුට අමතරව බංග්ලාදේශ ජාතිකයෙකු සහ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු සිටින අතර ඔවුන් සියලු දෙනාම සුළු තුවාල ලබා ඇති බව තහවුරු වී ඇත. ඉරානයෙන් එල්ල වූ ගුවන් තර්ජන මැඩපැවැත්වීමට ආරක්ෂක අංශ ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් අද දිනය පුරා ඩුබායි වැසියන්ට ප්‍රබල පිපිරුම් හඬවල් කිහිපයක්ම ඇසී ඇති බව ඩුබායි මාධ්‍ය කාර්යාලය පවසයි.
2026 පෙබරවාරි 28 දින ආරම්භ වූ යුද්ධමය වාතාවරණයෙන් පසු, එක්සත් අරාබි එමීරේට්ස් රාජ්‍යය තුළ මේ වන විට පුද්ගලයින් 178 දෙනෙකු තුවාල ලබා ඇති අතර මරණ 11ක් වාර්තා වී තිබේ. කලාපීය නොසන්සුන්තාවය හමුවේ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයක් යොමුව පවතී.














