මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය ඉන්දියාවේ ආර්ථිකයට සහ බලශක්ති අවශ්‍යතාවලට බලපාන ආකාරය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ විපක්ෂ නායක රාහුල් ගාන්ධි අතර අද (31) දැඩි වාග් ප්‍රහාර හුවමාරුවක් සිදු විය. මෝදි මහතා ගුජරාටයේ ද, රාහුල් ගාන්ධි මහතා කේරළයේ ද මැතිවරණ රැළි අමතමින් මෙම චෝදනා එල්ල කළහ.
ගුජරාටයේ වව්-තරාඩ් (Vav-Tharad) ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් විවෘත කරමින් අග්‍රාමාත්‍ය මෝදි ප්‍රකාශ කළේ, ලොව පුරා ඉන්ධන සහ ගෑස් මිල ඉහළ ගියද ඉන්දියාවේ “සාර්ථක විදේශ ප්‍රතිපත්තිය” සහ ජනතාවගේ “නොසැලෙන එකමුතුකම” නිසා එම තත්ත්වය පාලනය කර ගැනීමට හැකි වූ බවයි. කොංග්‍රස් පක්ෂය “දේශපාලන ගිජුලිහිණියන්” මෙන් ක්‍රියා කරමින් මෙම යුද්ධය තවදුරටත් උත්සන්න වී ඉන් දේශපාලන වාසි ලැබීමට බලා සිටින බවට ඔහු චෝදනා කළේය.
මේ අතර, මැදපෙරදිග කලාපයේ වැඩිම ශ්‍රමිකයන් පිරිසක් සේවය කරන කේරළ ප්‍රාන්තයේදී ජනතාව ඇමතූ රාහුල් ගාන්ධි මහතා, වත්මන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙහෙයවනු ලබන පුද්ගලයෙකු බවට දැඩි විවේචනයක් එල්ල කළේය. මැදපෙරදිග යුද්ධය නිසා ඉන්දියානු ශ්‍රමිකයන්ගේ රැකියා සහ ආදායම් මාර්ගවලට එල්ල වී ඇති තර්ජනය පිළිබඳව රජය නිසි අවධානයක් යොමු නොකරන බව ඔහු එහිදී අවධාරණය කළේය.















