ඉරාන ජාතිකයින්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළුවීම සහ ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා වෙනත් රටවලට ගමන් කිරීම (Transit) වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ. “ටර්කි ටුඩේ” (Turkey Today) සහ “ඉරාන් ඉන්ටර්නැෂනල්” (Iran International) වාර්තා කරන පරිදි, මෙම තහනම සංචාරක වීසා හිමියන්ට පමණක් නොව, දැනට එමීර් රාජ්‍යයේ වලංගු පදිංචි වීසා (Residency Visas) සහ “රන් වීසා” (Golden Visas) හිමි ඉරාන ජාතිකයින්ට ද එකසේ බලපැවැත්වේ. මේ අනුව, දැනට එමීර් රාජ්‍යයෙන් බැහැරව සිටින ඉරාන ජාතික පදිංචිකරුවන්ට පවා යළි එරටට ඇතුළුවීමට අවසර නොලැබෙන අතර ඔවුන්ගේ වීසා බලපත්‍ර ද අවලංගු කර ඇති බව වාර්තා වේ.
මෙම දැඩි තීරණයට හේතු වී ඇත්තේ පෙබරවාරි 28 වනදා ආරම්භ වූ යුදමය තත්ත්වයත් සමඟ ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉලක්ක කර එල්ල කරන ලද මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයන්ය. නිල දත්තවලට අනුව ඉරානය විසින් එමීර් රාජ්‍යය වෙත මිසයිල 393ක් සහ ඩ්‍රෝන යානා 1,835ක් එල්ල කර ඇති අතර, ඉන් පුද්ගල මරණ 10ක් සහ තුවාල ලැබීම් 171ක් වාර්තා වී තිබේ. මෙම ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් එමීර් රාජ්‍යය තුළ ක්‍රියාත්මක වූ ඉරාන පාසල්, රෝහල් සහ සංස්කෘතික මධ්‍යස්ථාන රැසක් ද වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇත.
මෙම තත්ත්වය හේතුවෙන් ඩුබායි හි නිවාස සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ බිලියන ගණනක ආයෝජන සිදුකර ඇති ඉරාන ජාතිකයින් දැඩි අර්බුදයකට පත්ව සිටී. බොහෝ පිරිසකට තම දේපළ සහ බැංකු ගිණුම් වෙත ප්‍රවේශ වීමේ හැකියාව අහිමි වී ඇති අතර, ඇතැම් පිරිස් ඇෆ්ගනිස්ථානය හරහා යළි ඉරානය බලා පිටුවහල් කිරීමට ද කටයුතු කරමින් පවතින බව වාර්තා වේ. එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍යවරයා ඉරානය “ත්‍රස්තවාදී රාජ්‍යයක්” ලෙස හඳුන්වමින් කළ ප්‍රකාශයත් සමඟ දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති අතර, මෙය කලාපයේ ආර්ථිකයට ද දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
තොරතුරු උපුටා ගැනීම: Mario Nawfal (X) ඇසුරින්
















