ඉරානය මේ වන විට යුද්ධයෙන් පරාජය වෙමින් සිටින බවත් තවත් සති දෙකක් හෝ තුනක් වැනි කෙටි කාලයක් ඇතුළත ඇමරිකානු හමුදා ඉරානයෙන් ඉවත් කරගන්නා බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. ඕවල් කාර්යාලයේ සිට අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ ඉරානය සමඟ ගිවිසුමකට එළඹීම දැන් අදාළ නොවන බවත් ඉරානයට වසර ගණනාවකට පරමාණුක අවියක් නිපදවීමට නොහැකි බව තහවුරු වූ වහාම ඇමරිකාව එරටින් පිටවන බවත්ය. මෙම තීරණාත්මක තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා බදාදා රාත්‍රියේ විශේෂ දේශනයක් මඟින් ජාතිය ඇමතීමට ද නියමිතය.
මේ අතර බ්‍රිතාන්‍යය ඇතුළු සෙසු රටවලට දැඩි අනතුරු ඇඟවීමක් කරමින් ට්‍රම්ප් පවසා ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධියෙන් තමන්ට අවශ්‍ය තෙල් ලබා ගැනීමට ඒ ඒ රටවල් තනිවම සටන් කළ යුතු බවයි. ඇමරිකාව තවදුරටත් අනෙකුත් රටවල ආරක්ෂාව වෙනුවෙන් පෙනී නොසිටින බවත් තමන් වෙනුවෙන් සටන් කිරීමට ලෝකයා දැන් ඉගෙන ගත යුතු බවත් ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහන් කර ඇත. මෙම ප්‍රකාශයත් සමඟ හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින තෙල් ප්‍රවාහන අර්බුදය තවදුරටත් උග්‍ර වීමේ අවදානමක් මතුව තිබේ.
සති පහක් පුරා පැවති මෙම දරුණු යුද්ධයෙන් මේ වන විට දහස් සංඛ්‍යාත පිරිසක් මියගොස් ඇති අතර ඉන් බහුතරය ඉරාන සහ ලෙබනන වැසියන් වේ. ඇමරිකාව ඉවත් වීමට සැරසුණ ද බ්‍රිතාන්‍යය සිය අතිරේක හමුදා සහ ගුවන් ආරක්ෂක පද්ධති මැදපෙරදිග කලාපයට යෙදවීමට පියවර ගෙන තිබේ. ට්‍රම්ප්ගේ මෙම හදිසි තීරණය මැදපෙරදිග කලාපයේ බල තුලනයට මෙන්ම ලෝක වෙළඳපොළට ද විශාල බලපෑමක් එල්ල කරනු ඇතැයි විදේශ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














