ඉරාන බලධාරීන්ගේ අත්අඩංගුවේ පසුවූ ශ්‍රී ලාංකිකයෙකු, බංග්ලාදේශ ජාතිකයෙකු සහ ඉන්දියානු ජාතිකයන් අට දෙනෙකුගෙන් යුත් නාවික පිරිසක් සති ගණනාවක දරුණු අත්දැකීම්වලින් පසු ආරක්ෂිතව සිය රටවල් බලා පැමිණ තිබේ. ඉන්ධන ජාවාරම් කළ බවට එල්ල වූ චෝදනා මත පසුගිය දෙසැම්බර් මාසයේදී මොවුන් ගමන් ගත් “MT Valiant Roar” නෞකාව ඉරාන හමුදා විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. නිදහස් නියෝග ලැබෙන විටත් ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කිරීම නිසා මෙම පිරිස දැඩි අනතුරකට මැදිව සිටියහ.
නෞකාවේ කපිතාන්වරයා පවසන්නේ තම නැව නවතා තිබුණේ ඉරාන නාවික හමුදා මධ්‍යස්ථානයක් අසල බැවින් මුළු රාත්‍රිය පුරාම තමන් අසලට මිසයිල පතිත වන අයුරු අසරණව බලා සිටීමට සිදු වූ බවයි. සෑම මොහොතකම තමන් මරණය අද්දර සිටින බව දැනුණු බවත් නෞකාවේ තිබූ ආරක්ෂක සහ සන්නිවේදන උපකරණ ඉරාන බලධාරීන් විසින් ඉවත් කර තිබූ නිසා ආරක්ෂිත ස්ථානයකට යාමට පවා නොහැකි වූ බවත් නාවිකයෝ පවසති. පසුව ටෙහෙරාන් නුවර හෝටලයක නවාතැන් ගත්තද එහි බිත්ති පවා ප්‍රහාර නිසා දෙදරුම් කෑ බව ඔවුන් සඳහන් කරයි.
අවසානයේදී ඉරාන දේශසීමා හරහා ආර්මේනියාවට ගොඩබිම් මාර්ගයෙන් ගමන් කළ මෙම පිරිස දැඩි දුෂ්කරතා මධ්‍යයේ ඩුබායි හරහා සිය රටවල් බලා පැමිණීමට සමත් විය. ඇතැම් නාවිකයන්ට මාස කිහිපයකින් වැටුප් පවා ලැබී නොමැති අතර යුද්ධය නිසා සිදු වූ මෙම බියකරු අත්දැකීමෙන් ඔවුන් තවමත් දැඩි කම්පනයකින් පසුවෙති. යුද ගින්න මැද සිය ජීවිත බේරාගෙන පැමිණි මෙම නාවිකයන් පිළිගැනීමට ඔවුන්ගේ පවුල්වල පිරිස් මහත් සතුටින් බලා සිටිති.














