සම්බුදු ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසකට මුල් වූ බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (01) යෙදී තිබේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකා ගමනය සිදුව ඇත්තේ අද වැනි උතුම් පොහොය දිනක වීම ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට ඉතා වැදගත් වේ. මැණික් පුටුවක් මුල් කරගනිමින් චූලෝදර සහ මහෝදර නා රජුන් අතර ඇති වන්නට ගිය මහා විනාශකාරී යුද්ධය වැළැක්වීම සඳහා බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩම කර වදාළේ අද වැනි දිනකය.
එමෙන්ම සිද්ධාර්ථ කුමාරයා සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ “මහල්ලාගේ” රුව දැක ඇත්තේ ද බක් පුර පසළොස්වක පොහොය දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. මෙම උතුම් පොහොය නිමිති කරගනිමින් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් සංවිධානය කර ඇත.
සැමට සාමය සහ සැනසීම උදාවන පින්බර පොහොය දිනයක් වේවායි ප්‍රාර්ථනා කරමු.














