ස්කොට්ලන්ත ජාතිකයෙකු වන 45 හැවිරිදි ස්ටීවන් ලියොන්ස් (Steven Lyons) නමැති ජාත්‍යන්තර අපරාධ කල්ලියක ප්‍රධානියෙකු ඉන්දුනීසියාවේ බාලි දූපතේදී අත්අඩංගුවට ගත් බව එරට බලධාරීන් ඊයේ (31) නිවේදනය කළේය. සිංගප්පූරුවේ සිට පැමිණි මොහුව බාලිහි නගුරා රායි ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්ටර්පෝල් (Interpol) ආයතනය නිකුත් කර තිබූ ‘රතු නිවේදනයක්’ (Red Notice) අනුවයි.
ස්ටීවන් ලියොන්ස් ස්පාඤ්ඤයේ සහ එක්සත් රාජධානියේ සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනාවලට අවශ්‍යව සිටි පුද්ගලයෙකි. 2024 වසරේ ස්පාඤ්ඤයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් ඔහු වසර දෙකක පමණ කාලයක සිට එරට පොලිසිය මගින් සොයමින් සිටි අයෙකු බව ද වාර්තා වේ.
ඔහු යුරෝපයේ සහ මැදපෙරදිග රටවල ව්‍යාජ සමාගම් හරහා මුදල් විශුද්ධිකරණය සිදුකරන ජාත්‍යන්තර අපරාධ ජාලයක නායකත්වය දරා ඇති බවට චෝදනා එල්ල වී තිබේ. ස්කොට්ලන්තය, ස්පාඤ්ඤය, ඩුබායි, කටාර්, බහරේන් සහ තුර්කිය යන රටවල මොහුගේ ජාලය ක්‍රියාත්මක වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරු අද (01) දින ස්පාඤ්ඤයට පිටුවහල් කිරීමට නියමිතව ඇති බව ඉන්දුනීසියානු බලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේය.














