හංගේරියානු අග්‍රාමාත්‍ය වික්ටර් ඕර්බන් (Viktor Orbán) විසින් යුක්රේනය සඳහා ලබා දීමට නියමිත යුරෝ බිලියන 90ක ණය මුදලට එරෙහිව පනවා ඇති නිශේධ බලය (Veto) ඉවත් නොකරන්නේ නම්, යුරෝපා සංගමය සතු රුසියානු වත්කම් ඒ සඳහා යොදා ගැනීමට සිදුවනු ඇති බව යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී කාජා කලාස් (Kaja Kallas) ඊයේ (31) ප්‍රකාශ කළාය. කියෙව් (Kyiv) නුවර සංචාරයක නිරත වෙමින් ඇය මේ බව අවධාරණය කළාය.
අප්‍රේල් 12 වනදා පැවැත්වෙන හංගේරියානු මැතිවරණයෙන් පසු ද ඕර්බන් මහතා මෙම ණය මුදලට බාධා කරන්නේ නම්, “Plan A” හෙවත් රුසියාවේ අත්හිටුවූ වත්කම් (Frozen Assets) භාවිත කිරීමේ සැලසුමට නැවත පිවිසීමට සිදුවන බව කලාස් මහත්මිය පෙන්වා දුන්නාය. දැනට යුරෝපා සංගමය සතුව රුසියානු මධ්‍යම බැංකුවට අයත් යුරෝ බිලියන 210ක පමණ වත්කම් ප්‍රමාණයක් පවතින අතර, ඒවා යුක්රේනයේ මිලිටරි සහ මූල්‍ය අවශ්‍යතා සඳහා යොදා ගැනීම පිළිබඳව ජර්මනිය, පෝලන්තය සහ බෝල්ටික් රටවල් සහය පළ කර ඇත.
කෙසේ වෙතත්, බෙල්ජියම, ප්‍රංශය සහ ඉතාලිය වැනි රටවල් මෙලෙස රුසියානු වත්කම් සෘජුව භාවිත කිරීමේදී ඇතිවිය හැකි නීතිමය සහ මූල්‍යමය ගැටලු පිළිබඳව මීට පෙර සිය කනස්සල්ල පළ කර තිබුණි. යුක්රේන විදේශ අමාත්‍ය ඇන්ඩ්‍රි සිබිහා (Andrii Sybiha) ප්‍රකාශ කළේ රුසියාව විසින් යුද්ධයෙන් සිදු වූ හානි සඳහා වන්දි ගෙවන තෙක් මෙම වත්කම් පිළිබඳ සාකච්ඡාව අවසන් නොවන බවයි.













