හෝමුස් සමුද්‍ර සන්ධිය වැසී යාම සහ ඉරාන යුද්ධය හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල 70%කින් සහ ස්වාභාවික වායු මිල 50%කින් ඉහළ යාම හමුවේ, යුරෝපා සංගමය (EU) දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බව බලශක්ති කොමසාරිස් ඩෑන් ජෝර්ගන්සන් (Dan Jørgensen) ඊයේ (31) ප්‍රකාශ කළේය. යුරෝපා බලශක්ති අමාත්‍යවරුන්ගේ හදිසි රැස්වීමකදී ඔහු අවධාරණය කළේ මෙම අර්බුදය කෙටි කාලීන එකක් නොවන බවයි.
පවතින ඉන්ධන හිඟයට පිළියම් ලෙස යුරෝපා රටවල් කිහිපයක් “නිවසේ සිට වැඩ කිරීම” (Remote work) ප්‍රවර්ධනය කිරීමටත්, ඉන්ධන ඉතිරි කර ගැනීම සඳහා 1970 දශකයේ අර්බුද සමයේ පැවති “මෝටර් රථ රහිත ඉරිදා” (Car-free Sundays) වැනි ක්‍රමවේද නැවත හඳුන්වා දීමටත් අවධානය යොමු කර තිබේ. එසේම ඉන්ධන පිරිපහදු කිරීමේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඒවායේ නඩත්තු කටයුතු කල් දමන ලෙස ද රජයන් වෙත උපදෙස් දී ඇත.
විකල්ප බලශක්ති සැපයුම්කරුවන් ලෙස අමෙරිකාව සහ කැනඩාව වැනි රටවල් සමඟ යුරෝපා සංගමය මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටී. සයිප්‍රස් සභාපතිත්වය යටතේ පැවති මෙම රැස්වීමේදී අවධාරණය කෙරුණේ, රටවල් තනි තනිව තීරණ ගැනීම වෙනුවට පොදු එකඟතාවයකින් කටයුතු කිරීම මගින් වෙළඳපොළ අස්ථාවර වීම පාලනය කළ හැකි බවයි. පීඩාවට පත් පවුල් සහ ව්‍යාපාරිකයන් රැක ගැනීම සඳහා විශේෂ සහන පැකේජයක් ද ඉදිරියේදී හඳුන්වා දීමට නියමිතය.














