මොරොක්කෝවේ සිට ස්පාඤ්ඤයට අයත් සෙයුටා (Ceuta) ප්‍රදේශය දක්වා විහිදුණු, පතල් කැණීම් තාක්ෂණයට සමාන අති නවීන මත්ද්‍රව්‍ය ප්‍රවාහන උමගක් සොයා ගැනීමට ස්පාඤ්ඤ පොලිසිය ඊයේ (31) සමත් විය. කාර්මික ගබඩාවකට යටින් ඉතා රහසිගතව නිර්මාණය කර තිබූ මෙම උමග හරහා වසරකට හෂීස් (Hashish) ටොන් ගණනාවක් යුරෝපයට ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.
මහල් තුනකින් සමන්විත මෙම උමග තුළ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා රේල් පීලි පද්ධතියක් සහ ට්‍රොලි යොදාගෙන තිබූ අතර, බර ඉසිලීම සඳහා දොඹකර සහ කප්පි පද්ධති ද සවිකර තිබුණි. ශබ්දය පිටතට නොයන ලෙස සකස් කළ මෙම මංතීරුව මොරොක්කෝව දක්වා සෘජුවම විහිදී තිබීම විශේෂත්වයකි. 2025 පෙබරවාරි මාසයේ සිට ආරම්භ කළ දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම ජාලය හඳුනා ගැනීමට පොලිසියට හැකි විය.
මෙම මෙහෙයුමේදී හෂීස් ටොන් 17කට අධික ප්‍රමාණයක් සහ යුරෝ මිලියන 1.4ක මුදලක් පොලිස් භාරයට ගෙන ඇති අතර, මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානීන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අප්‍රිකාව සහ යුරෝපා සංගමය අතර පවතින එකම ගොඩබිම් සීමාව වන සෙයුටා සහ මෙලිලා ප්‍රදේශ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන මධ්‍යස්ථාන බවට පත්ව ඇති බව ද බලධාරීන් පෙන්වා දෙයි.














