තායිලන්තයේ උතුරුදිග ප්‍රදේශයේ පිහිටි සුප්‍රසිද්ධ සංචාරක නගරයක් වන චියැං මායි (Chiang Mai) නුවර පවතින දැඩි වායු දූෂණය හේතුවෙන් එහි වෙසෙන දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ අනතුරකට ලක්ව ඇති බව අද (01) වාර්තා වේ. අධික දුමාරය සහ විෂ වායු අංශු (PM2.5) හේතුවෙන් කුඩා දරුවන්ගේ නාසයෙන් ලේ ගැලීම සහ විවිධ ආසාත්මිකතා ඇති වීම නිසා බොහෝ පවුල් එම නගරයෙන් ඉවත් වීමට තීරණය කරමින් සිටී.
ලොව වැඩිම වායු දූෂණයක් සහිත නගර අතර චියැං මායි මේ වන විට පෙරමුණේ පසුවන අතර, ප්‍රදේශයේ කඳුකරය වසාගත් ඝන මීදුමක් වැනි දුමාරයක් පවතින බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි. පසුගිය අඟහරුවාදා දිනයේ පමණක් තායිලන්තය පුරා ලැව්ගිනි සහ වගා බිම් ගිනි තැබීම් හේතුවෙන් ‘උණුසුම් මධ්‍යස්ථාන’ (Hotspots) 4,750ක් චන්ද්‍රිකා දත්ත මගින් හඳුනාගෙන තිබේ. ගොවීන් අලුත් වගා කටයුතු සඳහා බිම් සකස් කිරීමට ගිනි තැබීම සහ පවතින වියළි කාලගුණය මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇත.
වායු දූෂණය පාලනය කිරීම සඳහා තායිලන්ත රජය දැඩි නීති පනවා ඇති අතර, අනවසරයෙන් වනාන්තර ගිනි තබන පුද්ගලයන්ට වසර 20ක සිරදඬුවම් සහ තායි බාත් මිලියන 2ක (අමෙරිකානු ඩොලර් 61,000කට අධික) දඩ මුදලක් නියම කිරීමට කටයුතු කර තිබේ. දරුවන්ගේ ඇස් ඉදිමීම, සමේ පලු දැමීම සහ හෘදයාබාධ ඇතිවීමේ අවදානම හේතුවෙන් බොහෝ මව්පියන් තම දරුවන් වාතය පිරිසිදු වෙනත් ප්‍රදේශවල පදිංචි කරවීමට පියවර ගනිමින් සිටී.














