පර්සියානු ගල්ෆ් කලාපයේ තෙල් නිෂ්පාදනය කරන රටවල් මෑත වසරවලදී සිය ආර්ථිකය සංචාරක, ලෝහ සහ බැංකු වැනි විවිධ ක්ෂේත්‍ර කරා යොමු කරමින් විශාල දියුණුවක් ලබා ඇතත්, එමගින් ඉරානයට පහර දිය හැකි උපායමාර්ගික ඉලක්ක පරාසය පුළුල් වී ඇති බව වෝල් ස්ට්‍රීට් ජර්නල් (WSJ) වාර්තාවක් පෙන්වා දෙයි.
ගල්ෆ් රටවල් තෙල් මත පමණක් යැපීම අඩු කරමින් ගොඩනැගූ නවීන යටිතල පහසුකම්, සුඛෝපභෝගී සංචාරක මධ්‍යස්ථාන සහ මූල්‍ය ආයතන දැන් ඉරානයේ ප්‍රහාරක ඉලක්ක බවට පත්වීමේ තර්ජනයකට මුහුණ දී සිටී. විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ පවතින වත්මන් යුදමය වාතාවරණය හමුවේ මෙම “තෙල් නොවන” (Non-oil) ආර්ථික ක්ෂේත්‍රවලට එල්ල වන සුළු ප්‍රහාරයකින් වුවද එම රටවල සමස්ත ආර්ථික ස්ථාවරත්වයට සහ ජාත්‍යන්තර ආයෝජනවලට දැඩි බලපෑමක් එල්ල විය හැකිය.
ඉරානය සහ අමෙරිකා-ඊශ්‍රායල පාර්ශවය අතර පවතින ගැටුම් උත්සන්න වීමත් සමඟ, ගල්ෆ් කලාපයේ ආර්ථික විවිධාංගීකරණය (Economic Diversification) දැන් ඔවුන්ටම ආරක්ෂක අභියෝගයක් වී තිබේ. මීට පෙර තෙල් පිරිපහදු ඉලක්ක කළ ඉරානය, දැන් කලාපයේ සංචාරක ව්‍යාපාරය සහ මූල්‍ය කේන්ද්‍රස්ථාන කෙරෙහි ද අවධානය යොමු කරන බව යුද විශ්ලේෂකයෝ අනතුරු අඟවති.













