ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාලයන් මුළුමනින්ම මර්දනය කර විනාශ කිරීම සඳහා ඉදිරි සති දෙක ඇතුළත නව ප්‍රබල පනතක් හඳුන්වා දීමට රජය සූදානම් වන බව පොලිසිය අනාවරණය කර තිබෙනවා
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ (CCIB) නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කළේ මෙතෙක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රඳවා තබා ගැනීම සඳහා තාවකාලිකව භාවිත කළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනුවට ඉදිරියේදී මෙම “සංවිධානාත්මක අපරාධ පාලන පනත” (Organized Crime Control Bill) බලාත්මක කරන බවයි. මෙතෙක් අපරාධකරුවන් නීතියෙන් බේරීමට භාවිත කළ සිදුරු වැසීම මෙමඟින් සිදුවන අතර බන්ධනාගාරගතව සිටිමින් අපරාධ මෙහෙයවන සිරකරුවන් පවා යළිත් පොලිස් භාරයට ගෙන දැඩි ලෙස ප්‍රශ්න කිරීමට මෙමඟින් පොලිසියට බලය ලැබෙනවා
මීට අමතරව විදේශයන්හි සැඟවී සිටින ජාවාරම්කරුවන් මෙරට තුළ උපයා ඇති කළු සල්ලි සහ දේපළ රාජසන්තක කිරීමේ මෙහෙයුම් ද අඛණ්ඩව ක්‍රියාත්මකයි. 2026 වසරේ මුල් මාස කිහිපය තුළ පමණක් නාවික හමුදාව විසින් රුපියල් බිලියන 25කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉන්දුනීසියාව, නේපාලය සහ පකිස්ථානය වැනි රටවල සිටි ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය සැපයුම්කරුවන් 29 දෙනෙකු ද මේ වන විට හඳුනාගෙන අත්අඩංගුවට ගෙන තිබෙනවා














