ඉන්ස්ටග්‍රෑම් (Instagram) සමාජ මාධ්‍ය ජාලය හරහා ව්‍යාජ ෆෝමියුලා 1 ප්‍රවේශපත්‍ර අලෙවි කර පුද්ගලයෙකු මුළා කළ විත්තිකරුවෙකුට, වින්දිතයාට ඩිරාම් 10,000ක (Dh10,000) වන්දි මුදලක් ගෙවන ලෙස අබුඩාබි අධිකරණය අද (01) නියෝග කළේය.
අදාළ ගැනුම්කරු විසින් ප්‍රවේශපත්‍ර සඳහා බැංකු ගිණුමක් හරහා ඩිරාම් 6,000ක මුදලක් ගෙවා ඇති අතර, පසුව එම ප්‍රවේශපත්‍ර වලංගු නොවන බව අනාවරණය වී තිබේ. ඒ අනුව අබුඩාබි සිවිල්, පවුල් සහ පරිපාලන අධිකරණය මගින් විත්තිකරුට නියෝග කළේ ගැනුම්කරු ගෙවූ ඩිරාම් 6,000ක මුදල නැවත ලබා දෙන ලෙසත්, අමතරව සිදු වූ හානිය වෙනුවෙන් ඩිරාම් 10,000ක වන්දියක් ගෙවන ලෙසත්ය.
මීට පෙර පැවති අපරාධ නඩු විභාගයකදී ද මෙම පුද්ගලයා වරදකරු කර තිබූ අතර, එහිදී ඔහුට මාස තුනක සිරදඬුවමක්, ඩිරාම් 20,000ක දඩයක් සහ රටින් පිටුවහල් කිරීමට නියෝග කර තිබුණි. සමාජ මාධ්‍ය හරහා විශේෂ වට්ටම් සහිතව ඉදිරිපත් කරන ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේදී අතිශයින් ප්‍රවේශම් වන ලෙසත්, නිල නොවන වෙබ් අඩවි හෝ පුද්ගලයන් හරහා ගනුදෙනු නොකරන ලෙසත් අබුඩාබි අධිකරණ දෙපාර්තමේන්තුව මහජනතාවට අනතුරු අඟවයි.














