මැදපෙරදිග කලාපයේ ඇවිලී යන යුද ගින්න ඉන්දියන් සාගරය දක්වා ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක, ශ්‍රී ලංකාව යළිත් වරක් ප්‍රබල ගෝලීය බලවතුන්ගේ භූදේශපාලනික අවධානයට ලක්ව තිබෙනවා. විශේෂයෙන්ම ඉරානය විසින් එල්ල කරන ලද දිගු දුර බැලැස්ටික් මිසයිල ප්‍රහාර මඟින් බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකානු ඒකාබද්ධ හමුදා කඳවුරක් පවතින ‘දියාගෝ ගාර්සියා’ දූපත ඉලක්ක කිරීමත් සමඟ මෙම තත්ත්වය උද්ගත වී තිබෙනවා
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කීර් ස්ටාමර්, සිය හමුදා කඳවුරු ඉරානයට එරෙහි ප්‍රහාර සඳහා ලබා දීමට මුලින් අකමැත්ත පළ කළ ද පසුව ඊට අවසර ලබා දීමත් සමඟ ඉරානය මෙම ප්‍රහාරය එල්ල කර තිබුණා. කිලෝමීටර් 4,000කට වඩා ඈතින් පිහිටි දියාගෝ ගාර්සියා දූපත වෙත මෙවැනි ප්‍රහාර එල්ල කිරීමට ඉරානයට ඇති හැකියාව පිළිබඳව බටහිර ලෝකය මේ වන විට දැඩි ලෙස කලබලයට පත්ව සිටිනවා. මීට පෙර පසුගිය මාර්තු 4 වැනිදා ද ශ්‍රී ලංකා මුහුදු සීමාවට ආසන්නයේදී ඉරාන නෞකාවක් ඇමෙරිකානු සබ්මැරීනයක් මඟින් ගිල්වා දැමීම ද සිදුවුණා
මෙම පසුබිම තුළ ඇමෙරිකානු ආරක්ෂක අංශවල අවධානය ශ්‍රී ලංකාව කෙරෙහි යොමුව ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා. පසුගියදා ඇමෙරිකානු පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීවන් කෝලර් සහ ඇමෙරිකානු විශේෂ නියෝජිත සර්ජියෝ ගෝර් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීම ඊට කදිම උදාහරණයක්. එසේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී හෙළි කළේ ජිබුටි (Djibouti) රාජ්‍යය ආසන්නයේ තිබූ ඇමෙරිකානු ප්‍රහාරක යානා දෙකකට මත්තල ගුවන් තොටුපළට ගොඩබැස්සවීමට කළ ඉල්ලීමක් මෙන්ම ඉරාන නෞකා 3කට මෙරටට පැමිණීමට කළ ඉල්ලීමක් ද රටේ මධ්‍යස්ථභාවය සුරැකීම වෙනුවෙන් රජය විසින් ප්‍රතික්ෂේප කළ බවයි














