ලෝක වෙළෙඳපොළේ පවතින ඉල්ලුම සීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රය මේ වන විට දැඩි පීඩාකාරී මෙන්ම අභියෝගාත්මක අවධියකට අවතීර්ණ වෙමින් පවතිනවා
ලබාගෙන ඇති නවතම දත්තවලට අනුව 2026 වසරේ පෙබරවාරි මාසයේදී මෙරට ඇඟලුම් අපනයනය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව 11.46%කින් පහත වැටී ඇති අතර එය ඇමරිකානු ඩොලර් මිලියන 361.2ක් දක්වා අඩුවීමක්. මෙලෙස අපනයන ආදායම් පහත වැටීම ශ්‍රී ලංකාවේ ප්‍රධානතම වෙළෙඳපොළවල් වන යුරෝපා සංගමය (-19.48%), ඇමරිකා එක්සත් ජනපදය (-3.53%) සහ එක්සත් රාජධානිය (-5.67%) යන සියලුම කලාපවලින් වාර්තා වීම විශේෂත්වයක්. එසේම 2026 වසරේ මුල් මාස දෙක තුළ පමණක් සමස්ත ඇඟලුම් අපනයනය 6.91%කින් පහත වැටී තිබෙනවා
ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පෙන්වා දෙන්නේ මෙය ශ්‍රී ලංකාවට පමණක් බලපා ඇති ගැටලුවක් නොවන බවත්, ලෝක මට්ටමින් ඇඟලුම් සඳහා ඇති ඉල්ලුම අඩුවීම මීට ප්‍රධානතම හේතුව වී ඇති බවත්ය. නිදසුනක් ලෙස බංග්ලාදේශය යුරෝපා සංගමය වෙත සිදුකරන ඇඟලුම් අපනයනය ද ජනවාරි මාසයේදී 25%කට වඩා වැඩි ප්‍රතිශතයකින් පහත වැටී ඇති බව ඔවුන් පෙන්වා දෙනවා
කෙසේ වෙතත් මෙවැනි ගෝලීය පසුබෑමකදී ලොව ප්‍රධාන පෙළේ ඇඟලුම් ගැනුම්කරුවන් අඩු පිරිවැයකින් සහ වේගයෙන් ඇඟලුම් සැපයිය හැකි රටවල් කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වනවා. එබැවින් බංග්ලාදේශය සහ වියට්නාමය වැනි අඩු පිරිවැයකින් නිෂ්පාදන සිදුකරන රටවල් සමඟ තරඟ කරමින් ලෝක වෙළෙඳපොළේ අපගේ ස්ථානය රැකගැනීම සඳහා මෙරට ප්‍රවාහන හා සැපයුම් ජාල විධිමත් කිරීම සහ පිරිවැය කළමනාකරණය වැනි අභ්‍යන්තර ගැටලුවලට කඩිනම් විසඳුම් සෙවීම අත්‍යවශ්‍ය වී තිබෙනවා














