බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජතුමා සහ කැමිලා රැජින ලබන අප්‍රේල් 27 සිට 30 දක්වා අමෙරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව ඇත. වත්මන් දේශපාලන හා යුදමය වාතාවරණය හමුවේ මෙම සංචාරය අතිශය තීරණාත්මක මෙන්ම අභියෝගාත්මක එකක් වනු ඇති බව විදේශ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) විසින් ඉරානයට එරෙහිව දියත් කර ඇති දැඩි හමුදාමය ක්‍රියාමාර්ග හමුවේ මෙම සංචාරය සිදුවේ. බ්‍රිතාන්‍ය රජය සහ ට්‍රම්ප් පරිපාලනය අතර පවතින “සුවිශේෂී සබඳතාවය” (Special Relationship) යම් පසුබෑමකට ලක්ව ඇති මොහොතක, රජතුමාගේ පැමිණීම හරහා එම සබඳතා යළි ශක්තිමත් කිරීමට බ්‍රිතාන්‍ය රජය අපේක්ෂා කරයි.
ජෙෆ්රි එප්ස්ටයින් (Jeffrey Epstein) සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීම සඳහා ඇන්ඩෘ කුමරුට (Prince Andrew) එරෙහිව අමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩල සාමාජිකයන් පිරිසක් බලපෑම් කරමින් සිටිති. රජතුමා ධවල මන්දිරයේ සිටින අතරතුර, ඊට නුදුරින් පිහිටි කොන්ග්‍රස් මණ්ඩලය තුළින් එල්ල වන මෙම විරෝධය රාජකීය සංචාරයේ සාමකාමී ස්වභාවයට බාධාවක් විය හැකි බවට මත පළ වේ.
මෙම සංචාරය සැලසුම් කිරීම සඳහා බකිංහැම් මාලිගය, විදේශ කාර්යාලය සහ වොෂින්ටනයේ නව බ්‍රිතාන්‍ය තානාපති ශ්‍රීමත් ක්‍රිස්ටියන් ටර්නර් (Sir Christian Turner) මාස ගණනාවක සිට කටයුතු කර ඇත. යුදමය වාතාවරණයක් පවතින රටක සංචාරය කිරීම ව්‍යවස්ථාපිත රජෙකු ලෙස චාල්ස් රජතුමා මුහුණ දෙන අතිශය සංකීර්ණ රාජ්‍යතාන්ත්‍රික පරීක්ෂණයක් වනු ඇත.














