ඉරාන රජයේ ප්‍රධාන රාජ්‍ය ක්‍රියාකාරකම්වල පාලනය එරට විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් සියතට ගෙන ඇති බවත්, ඒ හේතුවෙන් ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියෑන් (Masoud Pezeshkian) දැඩි දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටින බවත් ‘Iran International’ පුවත් සේවය අද (01) වාර්තා කළේය.
අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින දරුණු යුදමය වාතාවරණය හමුවේ ඉරාන රජය සහ මිලිටරි නායකත්වය අතර ඇති වූ දැඩි මතභේද මෙම තත්ත්වයට හේතු වී තිබේ. යුද්ධය හේතුවෙන් හිටපු උත්තරීතර නායක අලි කමේනි (Ali Khamenei) ඇතුළු ජ්‍යෙෂ්ඨ නායකයන් රැසක් අහිමි වීම සහ ප්‍රධාන පෙළේ හමුදා මධ්‍යස්ථාන වෙත එල්ල වූ ප්‍රහාර හමුවේ විප්ලවීය ආරක්ෂක බලකාය රටේ ආරක්ෂක සහ පාලන පද්ධතිය සිය පාලනයට නතු කරගෙන ඇත.
වත්මන් උත්තරීතර නායක මොජ්ටාබා කමේනි (Mojtaba Khamenei) සිටින ස්ථානය පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොමැති පසුබිමක, විප්ලවීය ආරක්ෂක බලකාය රජයේ ප්‍රධාන තීරණ ගැනීමේ බලය හෙබවීම ආරම්භ කර තිබේ. මෙම තත්ත්වය හමුවේ ජනාධිපති පෙසෙෂ්කියෑන්ගේ පරිපාලනය සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇති බවත්, ඔහු දේශපාලනික වශයෙන් හුදෙකලා වී ඇති බවත් එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.














