දකුණු කොරියාවේදී සාමය කඩ කිරීම සහ ලිංගික අපරාධ සම්බන්ධ චෝදනාවලට වැරදිකරු වී සිටින ඇමෙරිකානු සජීවී විකාශකයෙකු (Live Streamer) වන ජොනී සෝමාලි (Johnny Somali) හෙවත් රම්සි කාලිඩ් ඉස්මායෙල්ගේ (Ramsey Khalid Ismael) දඬුවම් ලිහිල් කරන ලෙස ඔහුගේ මව එරට අධිකරණයෙන් අද (01) ඉල්ලීමක් කළාය.
දකුණු කොරියාවේ සංස්කෘතික ස්ථානවලට අපහාස කිරීම, සාමය කඩ කිරීම සහ අලුතින් එක් වූ ලිංගික අපරාධ චෝදනා සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පවරා ඇත. වරදකරු වුවහොත් ඔහුට වසර 31ක උපරිම සිර දඬුවමක් නියම වීමට ඉඩ ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. අප්‍රේල් 15 වන දින දඬුවම් නියම කිරීමට නියමිතව ඇති අතර, ඒ වෙනුවෙන් ඔහුගේ මව විසින් අධිකරණයට සමාව අයැදීමේ පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
තම පුත්‍රයා සිදුකළ ක්‍රියාවන් සම්බන්ධයෙන් අනුකම්පාව දක්වන ලෙසත්, දඬුවම් නියම කිරීමේදී සහනයක් ලබා දෙන ලෙසත් ඇය මෙමගින් ඉල්ලා ඇත. ජොනී සෝමාලි විසින් දකුණු කොරියාවේදී සිදු කළ අශෝභන හැසිරීම් සහ ඒවා සජීවීව විකාශනය කිරීම හේතුවෙන් එරට වැසියන් අතර දැඩි විරෝධයක් ද මතු වී තිබුණි.














