පකිස්ථානය සිය අසල්වැසි ඇෆ්ගනිස්ථානය සමඟ දශක කිහිපයකින් පසු එළඹුණු දරුණුතම යුදමය වාතාවරණයකට මුහුණ දී සිටියද, අමෙරිකා-ඊශ්‍රායල සහ ඉරාන යුද්ධය සමනය කිරීම සඳහා “අසම්භාව්‍ය මැදිහත්කරුවෙකු” ලෙස ඉදිරියට පැමිණ ඇති බව අද (01) වාර්තා වේ.
අමෙරිකානු සහ ඉරාන නියෝජිතයන් අතර සාකච්ඡා සඳහා ඉස්ලාමාබාද් අගනුවර පහසුකම් සැලසීමට පකිස්ථානය ඉදිරිපත් වී තිබේ. හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වසා දැමීම හේතුවෙන් පකිස්ථානයේ තෙල් සහ ගෑස් ආනයනයට දැඩි බලපෑම් එල්ල වී ඇති බැවින්, මෙම යුද්ධය අවසන් කිරීම ඔවුන්ට අත්‍යවශ්‍ය වී ඇත. සෞදි අරාබිය, තුර්කිය, ඊජිප්තුව සහ චීනය යන රටවල පූර්ණ සහයෝගය ද මේ සඳහා පකිස්ථානයට හිමිව තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද මේ පිළිබඳව අද රාත්‍රියේ ජාතිය ඇමතීමට නියමිතය.
මැදපෙරදිග සාමය ගැන කතා කරන අතරතුරම, පකිස්ථානය සිය අසල්වැසි ඇෆ්ගනිස්ථානය සමඟ “විවෘත යුද්ධයක” (Open War) නිරතව සිටියි. පසුගිය මාර්තු 16 වන දින කාබුල් නුවර මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට එල්ල වූ පකිස්ථාන ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් 143 දෙනෙකු මියගිය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය තහවුරු කර ඇත. ඇෆ්ගන් දේශසීමා ප්‍රදේශවලට පකිස්ථානය එල්ල කරන ෂෙල් වෙඩි ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් රැසක් මියගොස් ඇති අතර, දෙරට අතර සබඳතා අතිශය පිරිහී පවතී.














