වත්මන් රජය සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෛද්‍යවරුන්ගෙන් බලහත්කාරයෙන් සේවය ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසනවා
සංගමය පෙන්වා දෙන්නේ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු කිරීම් සහ දුෂ්කර සේවා ලැයිස්තු සකස් කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකපාර්ශ්විකව කටයුතු කර ඇති බවයි. විශේෂයෙන්ම පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදීමේදී සහ වාර්ෂික ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමේදී වෘත්තීය සමිති සමඟ නිසි එකඟතාවයකින් තොරව කටයුතු කිරීම හරහා වෛද්‍යවරුන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව ඔවුන් සඳහන් කරනවා
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ පසුගිය වසර 13ක් පුරා අඩාල වී තිබූ විධිමත් වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාවලියක් මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතින බවයි. ඇතැම් වෘත්තීය සමිති නියෝජිතයන් තම බලතල පාවිච්චි කරමින් වසර ගණනාවක් එකම ස්ථානවල රැඳී සිටීමේ අක්‍රමිකතාවය මින් ඉදිරියට නැවැත්වීමට අමාත්‍යාංශය පියවර ගන්නා බවත්, ලැයිස්තු සකස් කිරීම රජයේ වගකීමක් මිස වෘත්තීය සමිතිවල කාර්යයක් නොවන බවත් අමාත්‍යවරයා අවධාරණය කළා
















