කොත්මලේ, වෙදමුල්ල රම්බොඩ ප්‍රදේශයේ රක්ෂිතයක පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් ස්කාගාරයක් වැටලීමට ගිය කොත්මලේ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් හත් දෙනෙකු බඹර ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.
පවතින අධික වියළි කාලගුණික තත්ත්වයත් සමඟ ගසක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී මෙලෙස වැටලීමට ගිය කොත්මලේ පොලිස් අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ට දෂ්ඨ කර ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සැලවූ වහාම 1990 සුවසැරිය ගිලන් රථ දෙකක් එම රක්ෂිතය ආසන්නයට කැඳවා ඇති අතර, තුවාල ලැබූ නිලධාරීන් හත් දෙනාගෙන් දෙදෙනෙකු කොත්මලේ ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබේ. වඩාත් බරපතල තත්ත්වයේ පසු වූ සෙසු පොලිස් නිලධාරීන් පස් දෙනා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
නුවරඑළිය දිස්ත්‍රික් රෝහලේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ එලෙස ඇතුළත් කළ පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ තත්ත්වය තරමක් බරපතල මට්ටමක පවතින බවයි.














