කොළඹ – අවිස්සාවේල්ල හයිලෙවල් මාර්ගයේ නාවින්න බස් නැවතුම්පොළ ඉදිරිපිටදී පෙරේදා (30) රාත්‍රියේ සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මහරගම දෙස සිට නුගේගොඩ දෙසට අධික වේගයෙන් ධාවනය වූ හොන්ඩා වේසල් (Honda Vezel) වර්ගයේ මෝටර් රථයක්, මාර්ගය අසල නතර කර තිබූ පෞද්ගලික බස් රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව මහරගම පොලිසිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා බස් රථයේ පිටුපස ගැටී මෝටර් රථයට දැඩි හානි සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ මෝටර් රථයේ රියදුරු වහාම කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු මියගොස් ඇති බව වාර්තා වේ. මියගිය පුද්ගලයා වයස අවුරුදු 30ක පමණ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණය වී තිබේ.
අධික වේගය සහ නොසලකා හැරීම අනතුරට මූලික හේතුව වී ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත. අනතුර සම්බන්ධයෙන් මහරගම පොලිසියේ රථ වාහන අංශය වැඩිදුර විමර්ශන පවත්වන අතර, මියගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද දින පැවැත්වීමට නියමිතය. රාත්‍රී කාලයේදී මාර්ගයේ නතර කර ඇති වාහන පිළිබඳව රියදුරන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව පොලිසිය නැවතත් අවධාරණය කරයි.














