ඉරානයේ නව නායකයා තමන්ගෙන් සටන් විරාමයක් ඉල්ලා ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) අද (01) සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය. මැදපෙරදිග කලාපයේ පවතින දැඩි යුදමය වාතාවරණය හමුවේ මෙම අනාවරණය සිදු කර තිබේ.
ඉරානයේ සටන් විරාම ඉල්ලීම සලකා බැලීමට නම් ඔවුන් විසින් වහාම හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) විවෘත කළ යුතු බව ජනපති ට්‍රම්ප් අවධාරණය කරයි. හෝමූස් සමුද්‍ර සන්ධිය නිදහස් හා පැහැදිලි නාවික ගමනාගමනය සඳහා විවෘත නොකරන්නේ නම්, ඉරානය වෙත එල්ල කරන ප්‍රහාර අඛණ්ඩව සිදු කරන බවට ඔහු දැඩි අනතුරු ඇඟවීමක් කර ඇත.
“හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘතව සහ නිදහස්ව පවතින්නේ කවදාද යන්න අප පළමුව බලනවා. එසේ නොමැති වුවහොත් අප ඉරානය සහමුලින්ම නැති කර දමනවා” යනුවෙන් ට්‍රම්ප් එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ. ලෝක බලශක්ති ප්‍රවාහනයේ ප්‍රධානතම මාවතක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර වීම නිසා ගෝලීය තෙල් මිල ඉහළ ගොස් ඇති පසුබිමක ජනපතිවරයාගේ මෙම කොන්දේසිය ඉතා තීරණාත්මක වේ.














