ඉදිරි 2026/27 තරග වාරය වෙනුවෙන් ක්‍රීඩකයින් 21 දෙනෙකුගෙන් සමන්විත ඕස්ට්‍රේලියානු නිල ක්‍රිකට් කොන්ත්‍රාත් ලැයිස්තුව අද (01) ප්‍රකාශයට පත් කෙරිණි. අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ (ICC World Test Championship) කාර්යබහුල කාලසටහන ඉලක්ක කර ගනිමින් මෙම තේරීම් සිදු කර ඇති අතර, එහිදී ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට කොන්ත්‍රාත් අහිමි වීම විශේෂත්වයකි.
මෑතකදී නිමාවූ අළුබඳුන (Ashes) තරගාවලිය 4-1ක් ලෙස ජයග්‍රහණය කරමින් ලෝක ටෙස්ට් ශූරතාවලියේ පෙරමුණේ පසුවන ඕස්ට්‍රේලියාව, මෙවර කොන්ත්‍රාත් ලබා දීමේදී ටෙස්ට් සහ සියලුම ආකෘති (Multi-format) ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ට ප්‍රමුඛතාව ලබා දී ඇති බව තේරීම් කමිටු සභාපති ජෝර්ජ් බෙයිලි ප්‍රකාශ කළේය. ඒ අනුව ප්‍රබල ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල්, ලාන්ස් මොරිස්, ජේ රිචඩ්සන් සහ මැට් ෂෝට් හට මෙවර කොන්ත්‍රාත් ලැයිස්තුවේ ඉඩක් වෙන් වී නොමැත.
ප්‍රබල පිතිකරු උස්මාන් කවාජා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීම හේතුවෙන් ඔහුගේ නම ලැයිස්තුවෙන් ඉවත් කර ඇති අතර සෑම් කොන්ස්ටන් හට ද මෙවර කොන්ත්‍රාත්තුව අහිමි වී තිබේ. කෙසේ වෙතත්, ඉදිරි මාස 12 තුළ දක්ෂතා දක්වන ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර තරගවලට සහභාගී වීම හරහා නැවත සිය කොන්ත්‍රාත්තුව ඉහළ නංවා ගැනීමට (Upgrade) අවස්ථාව පවතින බව ද ජෝර්ජ් බෙයිලි වැඩිදුරටත් සඳහන් කළේය.














