බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂීක් හසීනා (Sheikh Hasina) තමන්ට එරෙහිව පනවා ඇති මරණ දඬුවම නීති විරෝධී බව පවසමින් එය අවලංගු කරන ලෙස එරට ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවෙන් (ICT) අද (01) ඉල්ලීමක් කළාය. 2024 අගෝස්තු මාසයේදී සිය පාලනය බිඳ වැටීමෙන් පසු ඉන්දියාවේ රැකවරණය ලබන ඇය, ලන්ඩන් නුවර පිහිටි සිය නීතිඥ ආයතනයක් හරහා මෙම ලිඛිත දැනුම්දීම සිදු කර තිබේ.
පසුගිය වසරේ නොවැම්බර් 17 වනදා බංග්ලාදේශ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව විසින් ෂීක් හසීනා හට මරණ දඬුවම නියම කළේ 2024 වසරේ පැවති ශිෂ්‍ය විරෝධතා මර්දනය කිරීමේදී සිදු වූ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ඇය වරදකරු කරමිනි. මීට අමතරව, සිවිල් වැසියන්ට එරෙහිව එල්ල වූ ප්‍රහාර වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඇයට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ද නියම විය.
දැනට බංග්ලාදේශයේ තාරික් රහ්මාන්ගේ (Tarique Rahman) නායකත්වයෙන් යුත් නව රජයක් පිහිටුවා ඇති පසුබිමක, හසීනා ඉල්ලා සිටින්නේ තමන්ට එරෙහි ඕනෑම නඩු විභාගයක් ජාත්‍යන්තර සාධාරණ නඩු විභාග ප්‍රමිතීන්ට අනුකූලව සිදු කළ යුතු බවයි. හසීනාගේ අවාමි ලීගයේ (Awami League) නායකයන් කිහිප දෙනෙකු ද නැවත සිය රට බලා පැමිණ පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමට සූදානම් වන අවධියක මෙම ඉල්ලීම ඉදිරිපත් වීම විශේෂත්වයකි.














