ඉන්දුනීසියාවේ ටර්නේට් (Ternate) නගරයට ඔබ්බෙන් වූ උතුරු මොලුකා මුහුදු කලාපයේ (Northern Molucca Sea) මැග්නිටියුඩ් 7.4ක ප්‍රබල භූමිකම්පාවක් සිදුවී තිබෙනවා. මෙම ප්‍රබල භූ කම්පනය හේතුවෙන් අවම වශයෙන් එක් අයෙකු මියගොස් ඇති අතර, නිකුත් කළ සුනාමි අනතුරු ඇඟවීම පසුව ඉවත් කර තිබේ.
ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) සඳහන් කළේ අද (අප්‍රේල් 2) සිදුවූ මෙම භූමිකම්පාව මුලින් මැග්නිටියුඩ් 7.8ක් ලෙස වාර්තා වූ නමුත් පසුව එය 7.4ක් ලෙස ස්ථිර කළ බවයි. භූමිකම්පාවේ කේන්ද්‍රය ටර්නේට් නගරයේ සිට කිලෝමීටර් 120ක් පමණ දුරින් කිලෝමීටර් 35ක ගැඹුරින් පිහිටා තිබුණි.
භූමිකම්පාව හේතුවෙන් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් උතුරු සුලවේසි (North Sulawesi) ප්‍රදේශයේ මනාඩෝ (Manado) නගරයේ එක් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති බව එරට සහන සේවා අංශ තහවුරු කර තිබෙනවා.
භූමිකම්පාවත් සමඟ පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය (PTWC) විසින් ඉන්දුනීසියාව, පිලිපීනය සහ මැලේසියාව යන රටවල වෙරළ තීරයන් සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරන ලදී. ඒ අනුව ඉන්දුනීසියාවේ ඇතැම් වෙරළබඩ ප්‍රදේශවලට සෙන්ටිමීටර 20ත් 75ත් අතර උසකින් යුත් කුඩා සුනාමි රළ පහරවල් කිහිපයක්ද වාර්තා වී තිබුණි. කෙසේ වෙතත්, භූමිකම්පාවෙන් පැය දෙකකට පමණ පසු සුනාමි තර්ජනය පහව ගොස් ඇති බව පවසමින් එම අනතුරු ඇඟවීම් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගත්තා.
ටෙක්ටොනික් තැටි එකිනෙක ගැටෙන, අධික භූ කම්පන ක්‍රියාකාරීත්වයක් සහිත පැසිෆික් ‘ගිනි වළල්ල’ (Pacific Ring of Fire) කලාපයේ ඉන්දුනීසියාව පිහිටා ඇති බැවින් එරටට නිතර මෙවැනි භූමිකම්පා අත්දැකීම්වලට මුහුණ දීමට සිදුවේ.














