අනීතික ස්ථාන මාරුවීම්වලට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් අද (අප්‍රේල් 2) උදෑසන 8.00 සිට හෙට (අප්‍රේල් 3) උදෑසන 8.00 දක්වා ක්‍රියාත්මක වන පරිදි තවත් පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
මෙම ගැටලුව මුල් කරගනිමින් ඔවුන් පසුගිය අඟහරුවාදා (මාර්තු 31) දිනයේද පැය 24ක දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක නිරත වූ අතර, සිය ඉල්ලීම්වලට බලධාරීන්ගෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම දෙවන වර්ජනයට එළඹි බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත්, වර්ජන කාලසීමාව තුළ රෝගීන්ට සිදුවන අපහසුතා මඟහරවා ගැනීම සඳහා හදිසි සහ අත්‍යවශ්‍ය ප්‍රතිකාර සේවා අඛණ්ඩව පවත්වාගෙන යන බව සංගමය අවධාරණය කර සිටියි. මීට පෙර පැවති වර්ජනවලදීද මාතෘ රෝහල්, ළමා රෝහල්, මහරගම අපේක්ෂා රෝහල සහ වකුගඩු ඒකක වැනි අත්‍යවශ්‍ය අංශ වර්ජනයෙන් නිදහස් කර තිබුණි.














