ලොස් ඇන්ජලීස් (Los Angeles) නගර මධ්‍යයේදී 70 හැවිරිදි කාන්තාවකගේ ගෙලට පිහියෙන් ඇන බරපතළ තුවාල සිදුකිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් 39 හැවිරිදි සැකකරු, මීට පෙර සිදුවූ තවත් මිනීමැරුමකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු බව ඇමෙරිකානු පොලිසිය අනාවරණය කරගෙන තිබේ. කෙනත් ගිබ්සන් (Kenneth Gibson) නැමැති මෙම සැකකරු නිවාස නොමැති අයෙකු ලෙස හඳුනාගෙන ඇත.
පොලිස් වාර්තාවලට අනුව, සැකකාර ගිබ්සන් 2025 මැයි 23 වනදා අටවන වීදියේ (Eighth Street) නිවාස නොමැති පිරිස් රැඳී සිටින කඳවුරකදී 48 හැවිරිදි බයිරන් ෆුවෙන්ටෙස් (Byron Fuentes) නැමැති පුද්ගලයා ඝාතනය කිරීමේ සිද්ධියට ද අවශ්‍යව සිටි අයෙකි. එම මිනීමැරුම සිදුවූ ස්ථානයට නුදුරින් පිහිටි ග්‍රෑන්ඩ් හෝප් පාර්ක් (Grand Hope Park) අසලදී මොහු මෙම වයෝවෘද්ධ කාන්තාවට ප්‍රහාරය එල්ල කර තිබේ. මීට අමතරව ඔහුට එරෙහිව ඇප නියෝග කඩකිරීම් (Parole warrant) සම්බන්ධයෙන් ද වරෙන්තු නිකුත් වී තිබුණි.
ඝාතනයට ලක්වූ බයිරන් ෆුවෙන්ටෙස්ගේ පවුලේ සාමාජිකයන් ප්‍රකාශ කර ඇත්තේ, ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම නිසා නිවාස නොමැති තත්ත්වයට පත්ව සිටියද ඉතා කාරුණික පුද්ගලයෙකු වූ බවයි. තම සහෝදරයාගේ මරණයට වගකිවයුතු පුද්ගලයාට නිසි දඬුවම් ලබා දෙන ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. සැකකරු දැනට පොලිස් අත්අඩංගුවේ පසුවන අතර ඔහුට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට නියමිතය.














