පාසල් සිසුන් අතර පවතින අධික ඩිජිටල් තිර කාලය (Screen Time) පාලනය කිරීම සහ ඔවුන්ගේ මානසික සෞඛ්‍යය මෙන්ම සයිබර් ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගත් නව ප්‍රතිපත්තිමය කෙටුම්පතක් ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්ත රජය විසින් ඊයේ (01) ප්‍රකාශයට පත් කරන ලදී. කර්නාටක සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ ජාතික මානසික සෞඛ්‍ය හා ස්නායු විද්‍යා ආයතනය (NIMHANS) එක්ව මෙම ප්‍රතිපත්තිය සකස් කර තිබේ.
නව යෝජනාවලියට අනුව, වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමටත්, සිසුන්ගේ තිර කාලය සඳහා දැඩි සීමාවන් පැනවීමටත් යෝජනා වී ඇත. සෑම යෞවනයන් හතර දෙනෙකුගෙන් එක් අයෙකුම අන්තර්ජාලය අනිසි ලෙස භාවිතා කිරීමේ ගැටලුවලින් පීඩා විඳින බවත්, එමගින් කාංසාව (Anxiety), නින්ද නොයාම, දුර්වල අධ්‍යාපන දක්ෂතා සහ සමාජයෙන් හුදෙකලා වීම වැනි මානසික සෞඛ්‍ය ගැටලු මතු වන බවත් මෙම වාර්තාව පෙන්වා දෙයි.
කර්නාටක සෞඛ්‍ය අමාත්‍ය දිනේෂ් ගුන්ඩු රාඕ (Dinesh Gundu Rao) සඳහන් කළේ, ජංගම දුරකථන අධික ලෙස භාවිත කිරීම නිසා පවුල් සබඳතා බිඳ වැටෙන අතර සමාජ ව්‍යුහයට ද දැඩි හානි සිදුවන බවයි. ඩිජිටල් ඇබ්බැහිය (Digital Addiction) සහ සයිබර් හිරිහැර (Cyber-bullying) වැනි අහිතකර බලපෑම්වලින් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම පියවර ගත් බව ඔහු වැඩිදුරටත් පැවසීය. මෙම ප්‍රතිපත්තිය ප්‍රධාන වශයෙන් පාසල් කේන්ද්‍ර කරගත් රාමුවක් හරහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.














