එයාර් බස් (Airbus) ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මහා පරිමාණ අල්ලස් ලබා ගැනීමේ සිද්ධියකට අදාළව, ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලී විජේනායක සහ හිටපු අමාත්‍යවරයෙකුගේ පුතෙකු වන ෂමීන්ද්‍ර රාජපක්ෂ යන අයට විවෘත වරෙන්තු නිකුත් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මීට පෙර අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් අදාළ සැකකරුවන් දෙදෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා මෙම වරෙන්තු නිකුත් කරනු ලැබීය.
මෙම නියෝගය වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ සියලුම ගුවන් තොටුපළවල් වෙත යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කළ අතර, අදාළ සැකකරුවන් මෙරටට පැමිණියහොත් වහාම අත්අඩංගුවට ගෙන ඒ පිළිබඳව අල්ලස් කොමිසම වෙත දැනුම් දෙන ලෙසට ආගමන විගමන බලධාරීන්ටද නියෝග කර තිබේ.














