ශතවර්ෂ හතරක වීදුරු නිෂ්පාදන ඉතිහාසයකට උරුමකම් කියන ඉන්දියාවේ ෆිරෝසාබාද් (Firozabad) නගරයේ වීදුරු කර්මාන්තය, මැදපෙරදිග කලාපයේ පවතින දරුණු යුදමය වාතාවරණය හමුවේ දැඩි කඩා වැටීමකට ලක්ව තිබේ. ඉන්ධන සහ බලශක්ති සැපයුම අඩාල වීම හේතුවෙන් මේ වන විට දහස් සංඛ්‍යාත දෛනික කම්කරුවන්ට සිය රැකියා අහිමි වී ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
වීදුරු නිෂ්පාදනය සඳහා අවශ්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1,000කට වඩා වැඩි මට්ටමක අඛණ්ඩව පවත්වාගෙන යාමට විශාල ස්වභාවික වායු (Gas) ප්‍රමාණයක් අවශ්‍ය වේ. ඉන්දියාව තෙල් තොග රැස්කර තැබුවද, වායු තොග රැස්කර නොමැති බැවින්, සැපයුම සීමා වූ වහාම රජය විසින් ප්‍රමුඛතාවය මත කර්මාන්තශාලා වෙත ලබා දෙන වායු සැපයුම කප්පාදු කර ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය මාසයේ සේවකයන් 500ක් සිටි ඒකකයක දැනට සේවය කරන්නේ 200කටත් අඩු පිරිසකි.
ඉන්දියාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ දායකත්වය ආර්ථිකයෙන් 25%ක් දක්වා ඉහළ නැංවීමට නරේන්ද්‍ර මෝදි රජය දරන උත්සාහයට මෙම යුද්ධය දැඩි බාධාවක් වී තිබේ. ඉන්දියාවේ නිෂ්පාදන දර්ශකය (PMI) මාර්තු මාසයේදී වසර හතරහමාරකට පසු අවම අගය දක්වා පහත වැටී ඇත. ටජ් මහල් (Taj Mahal) ස්මාරකයට නුදුරින් පිහිටි මෙම ඓතිහාසික වීදුරු නගරයේ වර්තමාන තත්ත්වය, ඉන්දියාවේ සෙසු නිෂ්පාදන ක්ෂේත්‍රයන්ට ද එල්ල විය හැකි ඉදිරි බලපෑම පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් ලෙස ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.














