පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණික තත්ත්වය සුළුකොට තැකිය නොහැකි බවත්, විශේෂයෙන්ම දියවැඩියාව, හෘද රෝග සහ පිළිකා වැනි නිදන්ගත රෝගවලින් (Chronic Diseases) පෙළෙන පුද්ගලයන්ගේ සෞඛ්‍ය තත්ත්වය මෙයින් තවදුරටත් නරක අතට හැරී මරණය පවා සිදුවිය හැකි බවත් සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඉනෝකා සුරවීර මහත්මිය ප්‍රකාශ කළේ, අධික හිරු රශ්මියට හා උණුසුමට නිරාවරණය වීමෙන් ශරීරයේ මස්පිඩු පෙරළීම (Heat Cramps), අධික විජලනය හා විඩාව (Heat Exhaustion) සහ මාරාන්තික විය හැකි ආඝාත තත්ත්වයන් (Heat Strokes) පවා ඇතිවිය හැකි බවයි. එම නිසා වකුගඩු රෝග, හෘද රෝග සහ දියවැඩියාව වැනි රෝගවලින් පෙළෙන අය මේ දිනවල දැඩි ලෙස ප්‍රවේශම් විය යුතුය.
ගොවීන් සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු සේවකයන් වැනි එළිමහනේ සේවය කරන පිරිස් ද මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු අතර, ඔවුන් නිතර නිතර වැඩිපුර ජලය පානය කළ යුතුය. එසේම මත්පැන්, කෝපි සහ අධික සීනි සහිත බීම වර්ග පානය කිරීමෙන් වැළකී සිටීම වැදගත් බව ඇය පෙන්වා දුන්නාය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික, වෘත්තීය සෞඛ්‍ය හා ආහාර සුරක්ෂිතතා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය චාන්දනී විතාන මහත්මිය සඳහන් කළේ, සිරුරේ ලවණ පද්ධතිය සමබරව තබා ගැනීම සඳහා කුරුම්බා, තැඹිලි, දෙහි, දොඩම් වැනි ස්වභාවික පාන වර්ග මෙන්ම පිපිඤ්ඤා සහ පැණි කොමඩු වැනි ආහාර ලබා ගැනීම ඉතා යෝග්‍ය බවයි.
එමෙන්ම පෙරවරු 11.00 ත් පස්වරු 4.00 ත් අතර කාලය තුළ හැකිතාක් එළිමහනට යාමෙන් වළකින ලෙසත්, එළිමහනට යන්නේ නම් ලා පැහැති කපු හෝ කපු මිශ්‍ර ඇඳුම් ඇඳීම සහ කුඩයක් හෝ තොප්පියක් භාවිත කිරීම වඩාත් සුදුසු බවත් ඇය වැඩිදුරටත් උපදෙස් දුන්නාය.














