කියුබානු වෙරළාරක්ෂක බලකාය සහ කියුබානු පිටුවහලුන් පිරිසක් අතර මුහුදේදී සිදුවූ මාරාන්තික වෙඩි හුවමාරුව සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ඇමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) තාක්ෂණික කණ්ඩායමක් මේ සතියේ කියුබාවට පැමිණ තිබේ. හවානාහි පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ඊයේ (01) මේ බව තහවුරු කළේය.
පසුගිය පෙබරවාරි 25 වනදා රාත්‍රියේ කියුබානු ජාතිකයන් 10 දෙනෙකුගෙන් යුත් පිරිසක් අධිවේගී යාත්‍රාවකින් කියුබාවට ඇතුළු වීමට උත්සාහ කර ඇති අතර, ඔවුන් සතුව රයිෆල් 13ක්, පිස්තෝල 11ක් සහ පතරොම් 13,000ක් පමණ තිබූ බව කියුබානු බලධාරීන් පවසයි. එහිදී ඇති වූ වෙඩි හුවමාරුවෙන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, තුවාල ලැබූ අනෙක් පිරිස මේ වන විට කියුබානු අත්අඩංගුවේ පසුවෙති.
ඇමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියෙකු ප්‍රකාශ කළේ හවානා රජය ඉදිරිපත් කරන තොරතුරු මත පමණක් පදනම් නොවී, ඇමෙරිකාව ස්වාධීනව කරුණු විමර්ශනය කරන බවයි. ඇමෙරිකානු නීතිය සහ එරට පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පරීක්ෂණය අත්‍යවශ්‍ය බවත්, කියුබානු බලධාරීන්ගේ ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාවය මෙහිදී ස්වාධීනව තහවුරු කර ගන්නා බවත් ඇමෙරිකානු පාර්ශවය අවධාරණය කර සිටියි. කියුබාව සහ ඇමෙරිකාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික නොසන්සුන්තාවය හමුවේ මෙම පරීක්ෂණය අතිශය තීරණාත්මක වනු ඇත.














